ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය

අතීතයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික විකාශනය සහ එහි වැදගත්කම පිළිබඳ අධ්‍යයනයක්.

කෘෂිකර්මය යනු මිනිසාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විද්‍යාත්මක සිද්ධාන්ත භාවිත කරමින්, සම්පත් කාර්යක්ෂමව සහ තිරසාර ලෙස යොදාගෙන බෝග වගා කිරීම, ගොවිපොළ සතුන් පාලනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ විද්‍යාවයි. මේ අනුව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ ප්‍රධාන අංශ දෙකකි. එනම්, බෝග වගාව සහ සත්ත්ව පාලනයයි.

1.1 ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විකාශය

1.1.1 ඓතිහාසික පසුබිම

මිනිසා දඩයම් යුගය සහ එඬේර යුගය පසු කරමින් ගොවි යුගයට පැමිණි බව මානව ඉතිහාසයෙහි සඳහන් වේ. දඩයම් යුගයේ දී සතුන් දඩයම් කර ආහාර සකසා ගත් මිනිසා, පසුව සතුන් හීලෑ කරන එඬේරකු බවට පත් විය. කාලයත් සමඟ ජලාශ හෝ ගංගා අසබඩ ස්ථිර වාසස්ථාන සකසා ගෙන බෝග වගා කරමින් සහ සතුන් ඇති කරමින් ගොවි යුගය ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය තුළ කුඹුරු, ගෙවතු සහ හේන් වගා සහිත වූ සාර්ථක කෘෂිකර්මාන්තයක් පැවති අතර, රට සහලින් ස්වයංපෝෂිත විය. මෙය යැපුම් කෘෂිකර්මාන්තය ලෙස හැඳින්විණි.

ස්වයංපෝෂිත බවට ඉවහල් වූ අංශ

  • රාජ්‍ය අනුග්‍රහය
  • වාරි තාක්ෂණය
  • ගොවිතැන හා බැඳුනු සංස්කෘතිය
රාජ්‍ය අනුග්‍රහය

"අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතු ය."

පරාක්‍රමබාහු රජු

රජරට "වැව් බැඳි රාජ්‍යය" ලෙස හැඳින්වූ අතර, කෘෂිකර්මයට දැක්වූ සේවය නිසා මහසෙන් රජු "මින්නේරි දෙවියන්" ලෙස දේවත්වයෙන් පුදනු ලැබීය.

Parakrama Samudra

පරාක්‍රම සමුද්‍රය - පුරාණ වාරි තාක්ෂණයේ විශිෂ්ටත්වයකි.

වාරි තාක්ෂණය

මුලින් වර්ෂා ජලයෙන් කටයුතු කළ අතර, පසුව ග්‍රාමීය වැව්, අමුණු සහ ජල හැරවුම් මාර්ග ඉදිවිය. අනුරාධපුර යුගයේ අභය වැවෙන් (බසවක්කුලම) ඇරඹුණු වාරි තාක්ෂණය මහා පරාක්‍රමබාහු රජ සමය දක්වා සංවර්ධනය විය. එකිනෙකට සම්බන්ධ වැව් පද්ධති එල්ලංගා පද්ධතිය ලෙස හැඳින්විණි. ධාතුසේන රජු විසින් නිර්මාණය කළ සැතපුම් 54ක් දිග යෝධ ඇළ (ජය ගඟ) මෙහි සුවිශේෂී නිර්මාණයකි. වැව් බැම්ම, සොරොව්ව සහ ජල පීඩනය අවම කරන බිසෝ කොටුව වැව් තාක්ෂණයේ වැදගත් අංග විය.

Tissa Wewa

තිස්ස වැව සහ දාගැබ - 'වැවයි දාගැබයි' සංකල්පය.

ගොවිතැන හා බැඳුණු සංස්කෘතිය
  • "වැවයි - දාගැබයි, ගමයි පන්සලයි" යන සංකල්පය මගින් වැව ගමේ අත්‍යවශ්‍ය අංගයක් විය.
  • අළුත් සහල් මංගල්‍යය වැනි පුද පූජා මගින් ගොවිතැන හා ආගම අතර සම්බන්ධය පෙනී යයි.
  • අත්තම් ක්‍රමය මගින් ජනතාවගේ එකමුතුකම තහවුරු විය.
අතීත කෘෂිකර්මාන්තය පිළිබඳ සාක්ෂි
  • මහාවංශයට අනුව කුවේණිය විජය කුමරුගේ පිරිසට සහල් වලින් ආහාර පිළියෙළ කිරීම.
  • පණ්ඩුකාභය කුමරුට ස්වර්ණපාලි කුමරිය කෙතකදී හමුවීම.
  • රොබට් නොක්ස්ගේ "මඩ සෝදා ගත් කල හෙළ ගොවියා රජකමට පවා සුදුසුය" යන ප්‍රකාශය.
  • ශ්‍රී ලංකාවට "පෙරදිග ධාන්‍යාගාරය" යන විරුදාවලිය ලැබීම.

1.1.2 විදේශ ආක්‍රමණ වල බලපෑම

පෘතුගීසි සහ ලන්දේසි පාලන කාලය

කුරුඳු, ගම්මිරිස් වැනි දේශීය බෝග අපනයනය කළ අතර, කුරුඳු වගාව ආරම්භ කරන ලදී. අන්නාසි, පැපොල්, රඹුටන්, දෙල්, මඤ්ඤොක්කා, මිරිස් වැනි බෝග රැසක් හඳුන්වා දෙන ලදී.

බ්‍රිතාන්‍ය පාලන කාලය

දේශීය කෘෂි ආර්ථිකයට දැඩි හානි සිදු විය. මුඩුබිම් පනත මගින් ගොවීන්ට ඉඩම් අහිමි විය. එම ඉඩම් වල කෝපි, තේ, රබර්, පොල් වැනි වැවිලි බෝග වගා කරන ලදී. දේශීය ආහාර නිෂ්පාදනය කෙරෙහි අවධානය අඩු වී සහල් ආනයනය කරන ලදී. මෙම වෙනස්කම් නිසා ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටී වැවිලි බෝග මත පදනම් වූ ආර්ථිකයක් බිහි විය.

  • 1822: පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිහිටුවීම.
  • 1912: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීම.
Tea Plantation

උඩරට තේ වගාව - යටත් විජිත සමයේ උරුමයකි.

නිදහසින් පසු සංවර්ධන ව්‍යාපාර

ගොවි ජනපද සහ ගල්ඔය, උඩවලව, මහවැලි වැනි බහුකාර්ය යෝජනා ක්‍රම බිහි විය.

පොදු අරමුණු:

1.1.3 හරිත විප්ලවය

1960 දශකයේ අග භාගයේදී, කෘත්‍රිම පොහොර, කෘෂි රසායනික, නව යන්ත්‍රෝපකරණ සහ වැඩි දියුණු කළ බෝග ප්‍රභේද භාවිතය නිසා කෘෂිකාර්මික ඵලදායිතාව විශාල ලෙස වැඩිවීම "හරිත විප්ලවය" ලෙස හැඳින්වේ.

High-yield seeds

වැඩි අස්වනු දෙන බීජ

Farm Mechanization

ගොවිපොළ යාන්ත්‍රීකරණය

Greenhouse farming

නවීන වගා ක්‍රම

1.3 ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය

  1. පෝෂණ අවශ්‍යතා සැපයීම: ශාකමය හා සත්ත්වමය ආහාර නිෂ්පාදනය කිරීම.
  2. රැකියා නියුක්තිය: වගාකරුවන්ගේ සිට වෙළඳුන් දක්වා විශාල රැකියා අවස්ථා නිර්මාණය වීම.
  3. විදේශ විනිමය ඉපයීම: වැවිලි බෝග, කුළුබඩු, එළවළු, පලතුරු අපනයනය කිරීම.
  4. කාර්මික අංශයට අමුද්‍රව්‍ය සැපයීම: සීනි සඳහා උක් දඬු, රබර් නිෂ්පාදන සඳහා රබර් කිරි සැපයීම.
  5. වෙළඳ පොළ පුළුල් කිරීම: කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ සහ සේවා සඳහා වෙළඳපොළක් නිර්මාණය වීම.
  6. සංස්කෘතිය පෝෂණය වීම: නෙලුම් කවි, ගොයම් කවි වැනි ජනකවි සහ අලුත් සහල් මංගල්‍යය වැනි චාරිත්‍ර බිහිවීම.

1.4 ආහාර සුරක්ෂිතතාව

අවශ්‍ය අවස්ථාවක දී, අවශ්‍ය ප්‍රමාණයෙන්, නියමිත ගුණාත්මයෙන් යුතුව ආහාර ලබා ගැනීමට ඇති හැකියාව ආහාර සුරක්ෂිතතාවයි.

1.5 දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය

දළ දේශීය නිෂ්පාදනය (GDP) යනු රටක් තුළ වසරකදී නිෂ්පාදනය කරන සියලු භාණ්ඩ හා සේවාවල වටිනාකමයි. ප්‍රධාන අංශ තුනක් දායක වේ: කෘෂිකාර්මික, කාර්මික සහ සේවා.

වගුව 1.1: දළ දේශීය නිෂ්පාදනයට විවිධ අංශවල දායකත්වය (%)
අංශය 2008 2009 2010 2011 2012
1. කෘෂිකාර්මික අංශය 12.1 12.2 12.0 11.1 11.1
2. කාර්මික අංශය 28.4 28.6 28.7 29.3 30.4
3. සේවා අංශය 59.5 59.3 59.3 59.5 58.5

මූලාශ්‍රය : වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව - 2008-2012

1.6 ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා ඇති විභවය