10.1 ආහාර බාල කිරීම (Food Adulteration)
අධික ලෙස ලාභ ඉපැයීමේ අරමුණින් මිලෙන් අඩු වෙනත් ද්‍රව්‍ය ආහාරයට එකතු කිරීම ආහාර බාල කිරීම ලෙස හැඳින්විය හැකිය. ආහාර බාල කිරීමේදී එහි පෙනුම හා ප්‍රමාණය වැඩිවන නමුත්, ගුණාත්මක බව අඩු වේ.
ආහාර බාල කරන අවස්ථා සඳහා උදාහරණ
- කහ කුඩුවලට තිරිඟු පිටි මිශ්‍ර කිරීම.
- සහල් පිටි හෝ කුරක්කන් පිටිවලට තිරිඟු පිටි මිශ්‍ර කිරීම.
- කහ කුඩුවලට මෙටැනිල් කහ වර්ණකය මිශ්‍ර කිරීම.
- ඉවත දමන තේ කුඩුවලට කෘත්‍රිම වර්ණක මිශ්‍ර කිරීම.
- කිරි හා වෙනත් පාන වර්ගවලට ජලය මිශ්‍ර කිරීම.
- ගම්මිරිස් බීජවලට පැපොල් බීජ එකතු කිරීම.
- මිරිස් කුඩුවලට ගඩොල් කුඩු එකතු කිරීම.
- කිරි පිටිවලට පාන් පිටි එකතු කිරීම.
ආහාර බාල කිරීම නිසා ඇතිවන ගැටලු
බාල කරන ලද ආහාර පරිභෝජනය තුළින් මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති වේ. එකතු කරන ද්‍රව්‍ය මගින් සමේ රෝග, ඇදුම, පිළිකා, ආහාර විෂවීම් හා අසාත්මිකතා ඇතිවන බව සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස, කහවලට මෙටැනිල් කහ වර්ණකය එකතු කිරීම නිසා නිරක්තිය, ඇස් නොපෙනීම හා ස්නායු ආබාධ ඇතිවිය හැක. තවද, ආහාරවල ආවේණික රසය අඩුවන අතර, නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවේ.
10.1.1 බාල කරන ලද ආහාර හඳුනා ගැනීම
බාල කළ ආහාර හඳුනා ගැනීමට යොදාගත හැකි සරල පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
- ජලය මිශ්‍ර කළ කිරි හඳුනා ගැනීම: ටයිල් මතුපිටකට පිරිසිදු කිරි බිංදුවක් දැමූ විට සුදු සලකුණක් ඉතිරිවේ. ජලය මිශ්‍ර කිරි සීමාවක් නොසාදා ගලා යයි.
- කෘත්‍රිම වර්ණක මිශ්‍ර කළ තේ කොළ හඳුනා ගැනීම: පිරිසිදු ජලයට තේ කොළ දැමූ විට, වර්ණක මිශ්‍ර නම් එම වර්ණක ජලයේ දියවේ.
- පොල්කිරි මිශ්‍ර කළ එළකිරි හඳුනා ගැනීම: පොල් කිරි මිශ්‍ර කර ඇති කිරි වලට ග්ලිසරින් බිංදුවක් එක් කළ විට රත් පැහැ ගැන්වේ.
- තිරිඟු පිටි මිශ්‍ර කළ කිරි පිටි හඳුනා ගැනීම: කිරි මිලිලීටර් 1කට අයඩින් බිංදු දෙකක් එකතු කළ විට නිල්-දම් වර්ණයක් ඇතිවේ නම්, තිරිඟු පිටි මිශ්‍ර කර ඇත.
- පැපොල් බීජ මිශ්‍ර කළ ගම්මිරිස් හඳුනා ගැනීම: නියැදියක් ජලයට දැමූ විට මේරූ ගම්මිරිස් ඇට ගිලෙන අතර පැපොල් ඇට පාවේ.
10.2 ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාව ඇගයීම (Sensory Evaluation)
ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාව යනු මිනිසාගේ සංවේදී ඉන්ද්‍රියයන් (ඇස, දිව, නාසය, සම) මගින් ලබාගන්නා සංවේදන ආශ්‍රයෙන් ඇතිවන හැඟීම් වේ. උදාහරණ ලෙස ආහාරයක පෙනුම, රසය, ගන්ධය, සහ වයනය දැක්විය හැකිය.
ඉන්ද්‍රිය ගෝචරතාව ඇගයීමේ වැදගත්කම
- ආහාරයක ගුණාංග හා ස්වභාවය හඳුනා ගැනීම.
- ආහාර වර්ග කිහිපයක ගුණාංග සැසඳීම.
- ආහාරය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග හඳුනා ගැනීම.
- නව නිෂ්පාදනයක ගුණාත්මය පිළිබඳ පාරිභෝගික කැමැත්ත දැන ගැනීම.
- ආහාර තත්ත්ව පාලනයේදී නියමිත තත්ත්ව තිබේදැයි පරීක්ෂා කිරීම.
- ආහාරයක ජීවකාලය (shelf life) තීරණය කිරීම.
ඉන්ද්‍රිය ගෝචරතා ඇගයීම සිදු කරන ආකාරය
මෙම පරීක්ෂණය සඳහා ප්‍රධාන අවශ්‍යතා දෙකකි: 1. විශේෂිත පරීක්ෂණාගාරයක්, සහ 2. පුහුණු කරන ලද පුද්ගලයන් කණ්ඩායමක්.
පරීක්ෂණාගාරය සුවපහසු උෂ්ණත්වයක (18°C - 20°C) හා ආර්ද්‍රතාවක (40%) පැවතිය යුතු අතර, බාහිර ශබ්ද සහ ගන්ධයන්ගෙන් තොර විය යුතුය. විශ්ලේෂකයන්ට (පුහුණු පුද්ගලයන්) ආහාර නියැදි ලබා දී, ඔවුන්ගේ මනාපය/අමනාපය ලකුණු කරන දත්ත පත්‍රිකාවක් ලබා දේ.
10.3 ආහාර සම්බන්ධ ප්‍රමිති (Food Standards)
පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා සකස් කරන ලද ගුණාංග සමුදායක් ප්‍රමිතියක් ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව තුළ ආහාර පාලනය 1980 අංක 26 දරන (1991 දී සංශෝධිත) ආහාර පනත මගින් සිදු කරනු ලැබේ.
ප්‍රමිති වර්ග
- ජාතික මට්ටමේ ප්‍රමිති: රටක අවශ්‍යතා වෙනුවෙන් ගෙන එනු ලබන එකඟතාවයන් වේ.
- උදාහරණ - SLS ප්‍රමිති සහතිකය: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) මගින් නිමි භාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කර මෙම සහතිකය පිරිනමයි. සමහර නිෂ්පාදන සඳහා (උදා: පානීය ජල බෝතල්) මෙම ප්‍රමිතිය ලබාගැනීම අනිවාර්ය කර ඇත.
- ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති: රටවල් අතර හුවමාරුවන භාණ්ඩ හා සේවාවල ගුණාත්මය පවත්වා ගැනීම සඳහා සකසා ඇත.
- උදාහරණ - ISO සහතිකය: ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය (International Standard Organization) මගින් පිරිනමයි.
ප්‍රමිතිවල වැදගත්කම
- ගුණාත්මක බවින් අඩු භාණ්ඩ සහ වංචනික වෙළෙඳ උපක්‍රමවලට පාරිභෝගිකයන් හසුවීම වැළැක්වීම.
- ආහාරය පිළිබඳ පාරිභෝගික විශ්වසනීයත්වය වැඩි දියුණු වීම.
- ප්‍රමිතියෙන් තොර ආහාර ගැනීම නිසා වැළඳෙන රෝග සඳහා යන වියදම අවම වීම.
- අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහ රසායනික ද්‍රව්‍ය මගින් සිදුවන ආහාර නරක් වීම වැළැක්වීම.
- පරිභෝජනය කරන ආහාරවල සත්‍ය තොරතුරු (පෝෂණය, ආකලන) පාරිභෝගිකයාට දැනගත හැකි වීම.
- උසස් තත්ත්වයේ නිෂ්පාදන අපනයනය කර වැඩිපුර විදේශ විනිමය ලබාගත හැකි වීම.