05: බිම් සැකසීම (Land Preparation)

බෝග වගාවක් ආරම්භ කිරීමට පෙර භූමිය සකස් කිරීමේ ක්‍රමවේද සහ උපකරණ පිළිබඳ හැඳින්වීමක්.

බෝග වගාවේ දී, සිටුවන ලද බීජයක් හෝ පැළයක් මනාව පසේ සංස්ථාපනය වීමටත්, හොඳින් වර්ධනය වීමටත් සුදුසු පාංශු පරිසරයක් ගොඩනැගීම සඳහා පස භෞතිකව සකස් කිරීමේ ක්‍රියාවලිය **බිම් සැකසීම** ලෙස හැඳින්වේ.

5.1 බිම් සැකසීමේ අරමුණු

බෝග වගාව සඳහා බිම් සැකසීම මගින් පහත අරමුණු ඉටු කර ගැනීමෙන් ඉහළ අස්වැන්නක් ලබා ගත හැක.

5.2 බිම් සැකසීමේ පියවර

බිම් සැකසීම
මූලික බිම් සැකසීම
අතුරුයත් ගෑම
ප්‍රාථමික බිම් සැකසීම
ද්විතීයික බිම් සැකසීම

5.2.1 මූලික බිම් සැකසීම

බෝගයක් භූමියේ සංස්ථාපනය කිරීමට පෙර පස හා සම්බන්ධව සිදු කරන සියලුම ක්‍රියාකාරකම් මූලික බිම් සැකසීම ලෙස හැඳින්වේ.

  1. ප්‍රාථමික බිම් සැකසීම: මෙහිදී පස් පිඩැල්ල කැපීම සහ පෙරළීම සිදු කෙරේ. මතුපිට ඇති වල් පැළෑටි පසට යට වේ. මේ සඳහා නගුල් වර්ග භාවිත කරයි.
  2. ද්විතීයික බිම් සැකසීම: පෙරළන ලද පස් කැට පොඩි කර, සියුම් ලෙස සකසා, මට්ටම් කර, අවශ්‍ය පරිදි පාත්ති සැකසීම මෙහිදී සිදු වේ.

ද්විතීයික බිම් සැකසීමේදී සකසන පාත්ති වර්ග

  • උස් වූ පාත්ති (Raised Beds): එළවළු වැනි බෝග සඳහා යොදා ගනී.
  • ගිල් වූ පාත්ති (Sunken Beds): වියළි කලාපයේ ජලය රැක ගැනීමට යොදා ගනී.
  • වැටි හා කානු (Ridges and Furrows): අල බෝග (බතල, රටකජු) සහ අන්නාසි වැනි බෝග සඳහා යොදා ගනී. කානුව ජල සම්පාදනයට ද භාවිත කෙරේ.
  • තනි වගා වළවල් (Individual Planting Holes): පොල්, කෙසෙල් වැනි බහු වාර්ෂික බෝග සඳහා යොදා ගනී. වළ කැපීමේදී මතුපිට සාරවත් පස සහ යටි පස වෙන් කර තැබිය යුතුය.

5.2.2 අතුරුයත් ගෑම (Inter-cultivation)

බෝගයක් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කිරීමෙන් පසු පස සම්බන්ධව සිදු කරන ක්‍රියාකාරකම් (වල් මර්ධනය, පස බුරුල් කිරීම, පොහොර මිශ්‍ර කිරීම, පැළ මුලට පස් එකතු කිරීම) අතුරුයත් ගෑම ලෙස හැඳින්වේ.

5.3 බිම් සැකසීමේ උපකරණ

බිම් සැකසීමේ උපකරණ භාවිත කරන අවස්ථාව අනුව සහ ක්‍රියාකරවන බලය අනුව වර්ග කළ හැකිය.

භාවිත කරන අවස්ථාව අනුව වර්ගීකරණය

ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ
  • තැටි නගුල
  • හැඩ ලෑලි නගුල (මෝල්බෝඩ් නගුල)
  • ජපන් පරිවර්ත්‍ය නගුල
  • ගැමි ලී නගුල
  • උදළු මුල්ලුව
ද්විතීයික බිම් සැකසීමේ උපකරණ
  • භ්‍රමණ පෝරුව (රොටවේටරය)
  • දැති පෝරුව (කොකු නගුල)
  • ඇණ දත් පෝරුව
  • ඇලි වැටි දමනය (රිජරය)
  • උදැල්ල, රේක්කය
අතුරුයත් ගෑමේ උපකරණ
  • උදැල්ල
  • හෝව වර්ග
  • ජපන් රොටරි වීඩරය
  • තුන් පුරුක් කල්ටිවේටරය
  • අත් මුල්ලුව

තැටි නගුල

භ්‍රමණ පෝරුව (රොටවේටරය)

අතුරුයත් ගෑමේ උපකරණ

5.4 බෝග සංස්ථාපනය (Crop Establishment)

රෝපණ ද්‍රව්‍ය (බීජ, පැළ, වර්ධක කොටස්) වගා බිමෙහි ස්ථාපිත කිරීම බෝග සංස්ථාපනය ලෙස හැඳින්වේ.

බෝග සංස්ථාපන ක්‍රම

පහත දැක්වෙන සටහන මගින් ප්‍රධාන බෝග සංස්ථාපන ක්‍රම සහ ඒවායේ අනු කොටස් දැක්වේ.

බෝග සංස්ථාපන ක්‍රම
කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවීම
තවාන් කර ලබාගත් පැළ සිටුවීම
බීජ සිටුවීම (වැපිරීම)
වෙනත් වර්ධක කොටස් සිටුවීම
පේළි ක්‍රමය
ත්‍රිකෝණ ක්‍රමය
සමචතුරස්‍ර ක්‍රමය
පහේ බෙදීම් ක්‍රමය

බෝග සංස්ථාපන උපකරණ

ක්‍රමවත්ව හා පහසුවෙන් බෝග සංස්ථාපනය සඳහා බීජ වප්කර (Seeders) සහ පැළ සිටුවීමේ යන්ත්‍ර (Transplanters) භාවිත කෙරේ. මෙමගින් ශ්‍රමය සහ කාලය ඉතිරි වේ.

මඩ වී බීජ වප්කරය

ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය


අභ්‍යාස

01. නිවැරදි ලෙස බිම් සකස් කිරීම මගින් පසෙහි දියුණු වන භෞතික ගුණාංග 2ක් නම් කරන්න.


02. ඉහත සඳහන් කළ භෞතික ගුණාංග දියුණු වීම ශාකවල මනා වර්ධනයට බලපාන්නේ කෙසේ ද?


03. පහත උපකරණ, බිම් සැකසීමේ පියවර අනුව සහ ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා බලය අනුව වර්ග කරන්න: උදැල්ල, රේක්කය, උදළු මුල්ලුව, අත් මුල්ලුව, දැති පෝරුව, ඇලි වැටි දමනය, තැටි නගුල, තුන් පුරුක් කල්ටිවේටරය, භ්‍රමණ පෝරුව, දේශීය ගැමි නගුල, ජපන් පරිවර්ත්‍ය නගුල.


04. වියළි සහ අතරමැදි කලාපය සඳහා මිශ්‍ර බෝග වගාවක් ලෙස අන්නාසි සහ කෙසෙල් වගා කිරීමට දළ සැලසුමක් නිර්මාණය කරන්න.


අමතර දැනුම: එළවළු කිහිපයක සිටුවන පරතර

බෝගය පේළි අතර පරතරය (cm) පේළිය තුළ පරතරය (cm) එක ස්ථානයක පැළ ගණන
වට්ටක්කා3003001-2
පතෝල1501001-2
වම්බටු90901
බණ්ඩක්කා90601
තක්කාලි80501-2
මිරිස්60451-2
ගෝවා50401
බීට්30101
කැරට්30051
කංකුන්45301-2
ගොටුකොළ20202-3

ප්‍රභවය: ගෙවතු වගාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

පාරිභාෂික ශබ්දමාලාව

බෝග සංස්ථාපනයCrop establishment
ප්‍රාථමික බිම් සැකසීමPrimary tillage
ද්විතීයික බිම් සැකසීමSecondary tillage
රෝපණ ද්‍රව්‍යPlanting materials
බීජ වප්කරයSeeder