06: උස් බිම් බෝග සඳහා තවාන් ශිල්ප ක්‍රම
ගොඩ බෝග වගාව සඳහා පැළ නිපදවීමේ විවිධ තවාන් ක්‍රම සහ ඒවායේ කළමනාකරණය.
**තවානක්** යනු රෝපණ ද්‍රව්‍ය (බීජ හෝ වර්ධක කොටස්) සිටුවා, ඒවා ප්‍රරෝහණයට හා පැළ වර්ධනයට හිතකර පරිසරයක් සපයමින්, ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු තත්ත්වයට පත්වන තෙක් රැකබලා ගන්නා තාවකාලික ස්ථානයකි.
බොහෝ බෝග තවාන් කර සිටුවන අතර, ඇතැම් බෝග (උදා: රනිල බෝග, බණ්ඩක්කා) උදුරා සිටුවීමේදී ඇතිවන පීඩනයට ඔරොත්තු නොදෙන නිසා කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවනු ලැබේ.
6.1 තවාන්වල අවශ්‍යතාව
- පැළවලට ගැලපෙන පරිදි පරිසර තත්ත්ව පාලනය කළ හැකිය.
- ශක්තිමත් හා නිරෝගී පැළ වැඩි සංඛ්‍යාවක් නිපදවා ගත හැකිය.
- ක්ෂේත්‍රයේ කෙළින්ම සිටුවීමට අපහසු කුඩා බීජවලින් (උදා: තක්කාලි, බටු) පැළ නිපදවාගත හැකිය.
- අඩු බීජ ප්‍රමාණයකින් අවශ්‍ය පැළ සංඛ්‍යාව නිපදවා ගත හැකිය.
- කුඩා පැළ පහසුවෙන් රැකබලාගත හැකිය.
- ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා නිරෝගී, ශක්තිමත්, ඒකාකාරී වර්ධනයක් සහිත පැළ තෝරාගත හැකිය.
- බද්ධ කිරීම සඳහා අවශ්‍ය ග්රාහක පැළ ලබා ගත හැකිය.
6.2 තවාන් වර්ග
බෝග වර්ගය, පවතින සම්පත් සහ අරමුණ අනුව විවිධ තවාන් වර්ග භාවිත කෙරේ.
තවාන් වර්ග
තවාන් සැකසීමේ පියවර
- සුදුසු ස්ථානයක් තෝරා ගැනීම.
- තවාන් මිශ්‍රණය හා තවාන සැකසීම.
- තවාන් ජීවානුහරණය කිරීම.
- රෝපණ ද්‍රව්‍ය සංස්ථාපනය.
6.3 තවාන් සකස් කිරීම
තවාන් සඳහා **තවාන් මිශ්‍රණය** නමින් හඳුන්වන විශේෂ මාධ්‍යයක් භාවිත කෙරේ. මෙය සල්ලඩයකින් හලාගත් මතුපිට පස් සහ කාබනික පොහොර (ගොම/කොම්පෝස්ට්) 1:1 අනුපාතයට මිශ්‍ර කර සාදා ගනු ලැබේ.
6.3.1 තවාන් පාත්ති
මිරිස්, තක්කාලි, වම්බටු වැනි කුඩා බීජ සහිත බෝග සඳහා බිමෙහිම පාත්ති ලෙස සකස් කරයි.
- උස් වූ පාත්ති (Raised Beds): පොළොව මට්ටමට වඩා උසට සකසයි. ජලවහනය දුර්වල පස්වලට සහ වර්ෂාව අධික කාලවලට සුදුසු වේ.
- ගිල් වූ පාත්ති (Sunken Beds): පොළොව මට්ටමට වඩා පහතින් සකසයි. ජලය නොරැඳෙන පස්වලට සහ ජලය හිඟ කාලවලට සුදුසු වේ.
උස් වූ පාත්තියක් සැකසීම
සාමාන්‍යයෙන් පළල මීටර 1ක් සහ උස සෙ.මී. 15ක් වන සේ සකස් කරයි. මෙහිදී පහළ සෙ.මී. 10 පිහිටි බිමෙහි පස්වලින්ද, ඉහළ සෙ.මී. 5 සකස් කරගත් තවාන් මිශ්‍රණයෙන්ද සමන්විත වේ.
6.3.2 නොරිදෝකෝ තවාන් (කුට්ටි තවාන්)
පස් කුට්ටිය සමඟ පැළය වෙන් කර ගත හැකි තවාන් ක්‍රමයකි. මූල මණ්ඩලයට හානි නොවන නිසා ක්ෂේත්‍රයේ සිටුවීමේදී පැළවලට සිදුවන පීඩනය අවම වේ.
මෙම ක්‍රමය කුඩා බීජ (තක්කාලි, ගෝවා), විශාල බීජ (වට්ටක්කා, කරවිල) මෙන්ම උදුරා සිටුවීමට ඔරොත්තු නොදෙන බෝග (බණ්ඩක්කා, රනිල) සඳහාද භාවිත කළ හැකිය.
6.3.3 බඳුන් තවාන්
තවාන් මිශ්‍රණය විවිධ බඳුන්වලට පිරවීමෙන් මෙම තවාන් සකසා ගනී. හිස් කිරි හට්ටි, පොල් කටු, පොලිතීන් බෑග්, යෝගට් කෝප්ප වැනි ද්‍රව්‍ය මේ සඳහා යොදා ගත හැකිය. මිල අධික දෙමුහුම් බීජ තවාන් කිරීමට සහ ගෙවතු වගාවට මෙම ක්‍රමය ඉතා සුදුසුය.
6.3.4 තවාන් තැටි
විශේෂයෙන් සැකසූ කුටීර සහිත ප්ලාස්ටික් තැටි මේ සඳහා භාවිත කෙරේ. කුටීර තුළට තවාන් මිශ්‍රණය පුරවා බීජ සිටුවනු ලැබේ. මෙම තැටි නැවත භාවිත කළ හැකි අතර, දෙමුහුම් බීජ සඳහා වඩාත් සුදුසු වේ.
6.4 තවාන් ජීවාණුහරණය (Nursery Sterilization)
සකස් කරගත් තවානෙහි හෝ තවාන් මාධ්‍යයේ සිටින ව්‍යාධි ජනකයින් (දිලීර, බැක්ටීරියා) සහ පළිබෝධකයන් විනාශ කිරීමේ ක්‍රියාවලියයි.
ජීවානුහරණ ක්‍රම:
- සූර්ය තාපය මගින් (Solarization): තෙත් කළ තවාන් පාත්තිය විනිවිද පෙනෙන පොලිතීනයකින් ආවරණය කර සති දෙකක් පමණ හිරු එළියට නිරාවරණය කිරීම.
- පිළිස්සීම මගින්: තෙත් කළ තවාන මතුපිට පිදුරු සහ දහයියා තට්ටු ලෙස අතුරා සෙමින් දහනය වීමට සැලැස්වීම.
- උණු ජලය මගින්: හොඳින් නටන උණු වතුර තවාන් මාධ්‍යයට කිහිප වරක් යෙදීම.
- රසායනික ද්‍රව්‍ය මගින්: නිර්දේශිත පාංශු දිලීර නාශකයක් (උදා: කැප්ටාන්, තිරාම්) ජලයේ දියකර තවානට යෙදීම.
6.5 තවාන් නඩත්තු කිරීම
නිරෝගී, සාර්ථක පැළ ලබා ගැනීමට තවාන හොඳින් නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ.
- වසුන් යෙදීම (Mulching): බීජ දැමූ පසු තෙතමනය සහ උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට පිදුරු, ගෝනි වැනි ද්‍රව්‍යයකින් තවාන ආවරණය කිරීම. බීජ පැළ වූ පසු වසුන ඉවත් කළ යුතුය.
- ජල සම්පාදනය: තවානට අවශ්‍ය පරිදි පිරිසිදු ජලය සැපයීම. වැඩිපුර ජලය රැඳීමට ඉඩ නොදිය යුතුය.
- සෙවණ සැපයීම: වසුන ඉවත් කළ පසු, තද හිරුගෙන් හා වර්ෂාවෙන් ළපටි පැළ ආරක්ෂා කිරීමට තවානට ඉහළින් ආවරණයක් සැපයීම.
- වල් මර්ධනය: තවානේ වැඩෙන වල් පැළ අතින් ගලවා ඉවත් කිරීම.
- පළිබෝධ පාලනය: රෝගී පැළ දුටු විගස ඉවත් කිරීම සහ අවශ්‍ය නම් නිර්දේශිත දිලීර හෝ කෘමි නාශක යෙදීම.
- පැළ දැඩි කිරීම (Hardening): ක්ෂේත්‍රයේ සිටුවීමට දින කිහිපයකට පෙර, ජලය සපයන වාර ගණන අඩු කර ක්‍රමයෙන් වැඩි හිරු එළියට නිරාවරණය කිරීම මගින් පැළ ක්ෂේත්‍රයේ පවතින තත්ත්වයන්ට හුරු කිරීම.
- ගෙවතු වගාවේදී එළවළු තවාන් පාත්තියක් ජීවානුහරණය කිරීමට වඩාත් සුදුසු පරිසර හිතකාමී ක්‍රමය කුමක්ද?
- ගෙවතු වගාවේදී තවානක පැළ පේළි අතරට අර්ධ ලෙස පිළිස්සූ දහයියා යෙදීමෙන් ඇති වාසි තුනක් සඳහන් කරන්න.
- ගෙවතු වගාවේදී බඳුන් තවාන් බහුලව යොදා ගැනේ. තවාන් බඳුන් ලෙස සපයාගත හැකි ද්‍රව්‍ය ලැයිස්තුගත කරන්න.
- පහසුවෙන් දිරාපත් වන ද්‍රව්‍ය තවාන් බඳුන් සෑදීමට යොදා ගැනීමෙන් ඇතිවන වාසි මොනවාද?
- ගෙවතු වගාවේදී තවාන් පාලනයේ ඇති වැදගත්කම සාකච්ඡා කරන්න.
- අහිතකර පරිසර තත්ත්වවලින් මුදවා ගනිමින් වසර පුරා ඵලදාව ලබා ගැනීම සඳහා ඔබේ ගෙවත්තේ ඇති එළවළු තවාන් හසුරුවා ගන්නේ කෙසේද?
පාරිභාෂික ශබ්දමාලාව
| සිංහල පදය | English Term |
| උස් බිම් වගාව | Upland cultivation |
| තවාන් පාත්ති | Nursery bed |
| උස් වූ පාත්ති | Raised bed |
| ගිල් වූ පාත්ති | Sunken bed |
| තවාන් තැටි | Nursery trays |
| තවාන් මාධ්‍යය | Nursery media |
| තවාන් ජීවානුහරණය | Nursery sterilization |
| බීජ ප්‍රතිකාර කිරීම | Seed treatment |
| බීජ ප්‍රරෝහණය | Seed germination |
| වසුන් යෙදීම | Mulching |
| වල් මර්ධනය | Weeding |
| ආවරණ සැපයීම | Shading |
| පැළ දැඩි කිරීම | Hardening of plants |