07: බෝග වගාවේ ජල කළමනාකරණය
සීමිත ජල සම්පත කාර්යක්ෂමව යොදා ගනිමින් බෝග වගාවේ සාර්ථකත්වය ළඟා කරගැනීම.
ජලය යනු සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය සීමිත සම්පතකි. කෘෂිකර්මයේදී, උපරිම අස්වනු ලබා ගැනීම සඳහා පසේ තෙතමනය **ක්ෂේත්‍ර ධාරිතාවයේ** පවත්වා ගැනීමට ගන්නා සියලු උපායමාර්ග **ජල කළමනාකරණය** ලෙස හැඳින්වේ. වර්තමානයේ මෙන්ම අතීතයේ ද ජල කළමනාකරණයට ඉහළ අවධානයක් යොමු වී ඇත.
බෝග වගාවට ජලයේ ඇති වැදගත්කම
- ප්‍රභාසංශ්ලේෂණය ඇතුළු කායික ක්‍රියාවලි සඳහා අත්‍යවශ්‍ය වේ.
- බීජ ප්රරෝහණයට අවශ්‍ය වේ.
- ශාක පෝෂක අවශෝෂණය කරන මාධ්‍යය ලෙස ක්‍රියා කරයි.
- ශාකවල සෛලවල සන්ධාරක ගුණය පවත්වා ගනී.
- බිම් සැකසීම පහසු කරයි.
- වී වගාවේදී වල් පැළ පාලනයට උපකාරී වේ.
පාංශු ජල සංරක්ෂණය
පසෙන් සිදුවන ජල හානි අවම කරමින් පසේ ජලය රඳවා ගැනීම.
ජල සම්පාදනය
පාංශු ජලය ප්‍රමාණවත් නොවන විට බෝගයට කෘත්‍රිමව ජලය සැපයීම.
ජල වහනය
වගා ක්ෂේත්‍රයේ ඇති අතිරික්ත ජලය ඉවත් කිරීම.
7.1 පාංශු ජල සංරක්ෂණය
පසේ ජලය රඳවා ගැනීමට නම්, පසෙන් ජලය ඉවත් වන ක්‍රම පාලනය කළ යුතුය.
පසෙන් ජලය ඉවත් වන ප්‍රධාන ක්‍රම:
- වාෂ්පීකරණ උත්ස්වේදනය (Evapo-transpiration):
- උත්ස්වේදනය: ශාක පත්‍ර මගින් ජල වාෂ්ප ලෙස ජලය පිට කිරීම.
- වාෂ්පීකරණය: පස මතුපිටින් ජලය වාෂ්ප ලෙස ඉවත්වීම.
- පෘෂ්ඨීය අපදාවය (Surface Runoff): අතිරික්ත ජලය පස මතුපිටින් ගලා යාම.
- වෑස්සීම (Percolation): ජලය පසේ ගැඹුරු ස්ථර කරා කාන්දු වීම.
පාංශු ජල සංරක්ෂණ ක්‍රම:
- පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම: පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරයි.
- පසට වසුන් යෙදීම: පිදුරු, පොල් අතු හෝ පොලිතීන් වැනි ද්‍රව්‍ය යොදා පස ආවරණය කිරීමෙන් වාෂ්පීකරණය අඩු කරයි.
- වල් පැළෑටි ඉවත් කිරීම: වල් පැළ මගින් සිදුවන උත්ස්වේදනය නතර කරයි.
- සමෝච්ඡ ක්‍රම යෙදීම: ගල්වැටි, හෙල්මළු, කානු ආදිය යොදා පෘෂ්ඨීය අපදාවය අඩු කිරීම.
7.2 ජල සම්පාදනය (Irrigation)
වර්ෂාව නොමැති විට බෝගවලට කෘත්‍රිමව ජලය සැපයීම ජල සම්පාදනයයි. මෙහි අරමුණ වන්නේ පසේ තෙතමනය ස්ථිර මැලවීමේ මට්ටමට පැමිණීමට පෙර නැවත ක්ෂේත්‍ර ධාරිතාවයට ගෙන ඒමයි.
ජල සම්පාදන ක්‍රම
ජලය බෝගය වෙත සපයන ආකාරය අනුව ජල සම්පාදන ක්‍රම ප්‍රධාන වශයෙන් වර්ග කිහිපයකි.
1. භූතල (මතුපිට) ජල සම්පාදන ක්‍රම
පොළොව මතුපිටින් ජලය ගලා යන සේ සැපයීම මෙහිදී සිදුවේ.
- පිටාර ජල සම්පාදනය (Flood Irrigation): ක්ෂේත්රය ලියදිවලට වෙන්කර ජලයෙන් යට කිරීම. වී වගාව සඳහා බහුලව යොදා ගැනේ. ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වීම අවාසියකි.
- ඇලි හා වැටි ජල සම්පාදනය (Furrow Irrigation): ඇලි හා වැටි සකස් කර, වැටියේ බෝගය සිටුවා ඇලිය දිගේ ජලය සැපයීම. සොලනේසියේ කුලයේ බෝග සඳහා සුදුසුය.
- තීරු ජල සම්පාදනය (Strip/Border Irrigation): භූමිය දිග තීරු ලෙස සකස් කර ජලය සැපයීම.
- බේසම් ජල සම්පාදනය (Basin Irrigation): බෝගය වටා බේසමක් සේ සකස් කර ජලයෙන් පිරවීම. පලතුරු ගස් සඳහා බහුලව යොදා ගැනේ.
2. භූගත (උප පෘෂ්ඨීය) ජල සම්පාදනය
පස මතුපිටට යටින් වළලන ලද සිදුරු සහිත නළ මාර්ග ඔස්සේ බෝගයේ මූල කලාපයට කෙළින්ම ජලය සැපයීම. ජල කාර්යක්ෂමතාව ඉතා ඉහළය.
3. ඉසින ජල සම්පාදනය (Sprinkler Irrigation)
නළ පද්ධතියක් හරහා පීඩනයෙන් එවන ජලය, නැසින්නක් (nozzle) මගින් කෘත්‍රිම වර්ෂාවක් ලෙස බෝගය මතට ඉසීම. බෑවුම් සහිත ඉඩම්වලට සුදුසුය. අධික සුළඟ ඇති ප්‍රදේශවලට නුසුදුසුය.
4. බිංදු ජල සම්පාදනය (Drip Irrigation)
දැනට භාවිත වන වඩාත්ම කාර්යක්ෂම ක්‍රමයයි. නළ පද්ධතියක ඇති විමෝචක (emitters) මගින් ජලය බිංදු වශයෙන් කෙළින්ම ශාකයේ මුලට සැපයීම. ජලය අපතේ යාම අවම වන අතර වල් පැළ වර්ධනය ද පාලනය වේ. මූලික වියදම අධිකය.
වෙනත් සරල ජල සම්පාදන ක්‍රම
ගෙවතු වගාවේදී ඉවතලන සේලයින් බෝතල් , ප්ලාස්ටික් බෝතල් සහ සිදුරු සහිත මැටි කළ වැනි සරල උපක්‍රම මගින් ද කාර්යක්ෂමව ජලය සැපයිය හැකිය.
7.3 ජලවහනය (Drainage)
වගා භූමියේ ඇති අතිරික්ත ජලය (ක්ෂේත්‍ර ධාරිතාවට වඩා වැඩි ජලය) ඉවත් කිරීම ජලවහනයයි.
යහපත් ජලවහනයේ වාසි: පසේ වාතනය යහපත් වීම, මූල පද්ධතියේ වර්ධනය හොඳින් සිදුවීම, බිම් සැකසීම පහසු වීම.
දුර්වල ජලවහනයේ අවාසි: ශාක මුල්වල ක්‍රියාකාරීත්වය ඇණ හිටීම, මුල් කුණුවීමේ දිලීර රෝග ව්‍යාප්තිය, පසේ විෂ වායු නිපදවීම.
ජලවහන ක්‍රම:
- භූතල ජලවහනය: විවෘත කානු පද්ධතියක් මගින් ජලය බැහැර කිරීම.
- භූගත ජලවහනය: පොළොව යටින් යොදන ලද උළු කානු, ගල් කානු හෝ කොඩොල් කානු මගින් ජලය බැහැර කිරීම.
- ජල පොම්ප මගින්: පහත් බිම්වල ඇති ජලය පොම්ප මගින් ඉවත් කිරීම.
7.4 වැසි ජල සංරක්ෂණය (Rainwater Harvesting)
"අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදිය යුතුය." - මහා පරාක්‍රමබාහු රජු
ශ්‍රී ලංකාවට ලැබෙන අධික වර්ෂාපතනයෙන් කොටසක්, නිවාසවල වහලවලින් එකතු කර ටැංකිවල ගබඩා කර, ජලය හිඟ කාලවලදී ප්‍රයෝජනයට ගත හැකිය. මෙය අඩු වියදමකින් ගුණාත්මක ජලය ලබාගත හැකි ක්‍රමයකි.
සුදුසු ජල සම්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී පහත කරුණු සැලකිල්ලට ගත යුතුය:
- පසේ ස්වභාවය: වයනය, ජල වහනය.
- භූ විෂමතාව: භූමියේ බෑවුම.
- දේශගුණය: වර්ෂාපතන රටාව, උෂ්ණත්වය, සුළඟ.
- වගා ක්‍රමය: බෝගයේ ස්වභාවය, වගාවේ විශාලත්වය.
- ජල ප්‍රභවය: ලබාගත හැකි ජල ප්‍රමාණය, ගුණාත්මය.
- ආර්ථික සාධක: වැය කළ හැකි මුදල හා ලැබෙන ප්‍රතිලාභ.
- ඉවතලන කන්ඩියුට් බට හා සේලයින් බට භාවිත කරමින් සරල විසිරුම් ජල සම්පාදන පද්ධතියක් නිර්මාණය කරන්න.
- අධික වර්ෂාවකින් පසු පහත් බිමක තිබූ බණ්ඩක්කා වගාවක පත්‍ර මැලවී යාමට බලපෑ හේතු විමසන්න.
- ඔබේ නිවසේ වහලයට වැටෙන වර්ෂා ජලය එක් රැස් කර ගැනීම සඳහා සුදුසු ඇටවුමක් සකස් කරන්න.
පාරිභාෂික ශබ්දමාලාව
| සිංහල පදය | English Term |
| ජල කළමනාකරණය | Water management |
| උත්ස්වේදනය | Transpiration |
| වාෂ්පීකරණය | Evaporation |
| වාෂ්පීකරණ උත්ස්වේදනය | Evapo-transpiration |
| පෘෂ්ඨීය අපදාවය | Surface runoff |
| පිටාර ජල සම්පාදනය | Flood irrigation |
| ජල වහනය | Drainage |
| වෑස්සීම | Percolation |